ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර (24දා) උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීම සඳහා ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙන ලෙස කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අද (29දා) පියවරක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා ඊයේ (28දා) පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවන බවට මේ වනවිට කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ලැබෙන සියලු පැමිණිලි එම අවස්ථාවේම නීති අංශයට යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ සභාපතිවරයා මහජනතාවටද පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් කඩිනමින් හඳුන්වා දීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත් පැවසීය.
2020 වසරේදී එවකට ජනාධිපතිවරයා විසින් උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බවත් එම තීරණය අනුව යමින් 2024 ජූලි 24 වැනිදා එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර අංක PS/CM/SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරමින් කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවට හා ඒ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කළ පාලකයන්ම හදිසියේ මෙම තීරණය ගැනීම මගින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ක්‍රියාවක් බවට පෙනී යන බැවින් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව හෙට්ටිආරච්චි මහතා කීය.
උපාධිධාරීන්ට හෝ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීම පිළිබඳව තමන්ගේ විරෝධයක් නැති බවත් එනමුදු මේ මොහොතේ උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට චක්‍රලේඛවලට පටහැනිව සිදුවන්නක් බවත් ඔහු කීය.
Be First to Comment