ඊයේ දින නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ, රුහුණු ජනතා පක්ෂයේ සාමාජිකයකු බව කියන චතුරංග රන්දිමාල් නමැත්තා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු මැතිවරණ කාර්යාලයට ඇතුළු වී නාමයෝජනා භාර ගන්නා නිලධාරීන්ගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට නාම යෝජනා භාර ගන්නා ස්ථානයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් තිබූ බවත් කියා සිටියා.
මොහු නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.
එසේම සැකකරුගේ දුරකථන හා පරිගණකය පරීක්ෂා කිරීම සඳහා පොලිසියට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් සැකකරුවන්ට නියෝග කළා.
ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 02 වනදා කැඳවීමටද නියම කෙරුණා.
Be First to Comment