Press "Enter" to skip to content

9 වැනි ජනාධිපතිවරණයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගන්න සියල්ල සූදානම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට ආරම්භ වනවා.  හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4 දක්වා එය ක්‍රියාත්මකයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වනවිට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටිනවා.

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර වාර්තා වනවා.

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් වෙත දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද ආරම්භ කෙරුණා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් 354 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.  මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාත තුළයි.

එහි ඡන්ද මධ්‍යස්ථාන 3,151 වෙත ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදුවුණා.  බස්නාහිර පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 1,212කදී ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 15 කින් සමන්විතයි.

කළුතර දිස්ත්‍රික්කයේ ද ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 735 වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කෙරුණා.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,024,244දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින්.

මධ්‍යම පළාත තුළ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,754ක්.

ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13ක පුද්ගලයින් 1,191,399 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 890ක්.

මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 330 සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.

මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4ක ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 429,991ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 605,292දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4 හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 532ක්.

දකුණු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් 2,110,278 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිත අකර ඒ සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව.1,657ක්.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 10ක් සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 903,163 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 715ක් ස්ථාපිතයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත අද පෙරවරුවේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.

ගාල්ල ප්‍රධාන ඡන්ද ගණන් නකිරීමේ මධ්‍යස්ථානයේ සිට බලපිටිය – මාදූව දූපතේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටුවක් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.

මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 526කදී ඡන්ද දායකයින් 686,175 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

ඒ ඡන්ද බලප්‍රදේශ 7ක් නියෝජනය කරමින්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 520,940ක්.

ඔවුන් ඡන්ද බලප්‍රදේශ 4ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 416කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

වයඹ පළාත තුළ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්ද මධ්‍යස්ථාන 1,447ක් ස්ථාපිත කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 1,417,226 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 977කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 14කින් සමන්විතයි.

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 5කින් සමන්විතවන අතර ඡන්ද මධ්‍යස්ථාන 470ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.

එම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 663,673ක්.

නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඡන්ද දායකයින් 1,321,043දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

එම පළාත දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 555,432ක්.

අදාළ දිස්ත්‍රික්කය තුළ ඡන්ද බලප්‍රදේශ 4ක ඡන්ද මධ්‍යස්ථාන 528ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.

මඩකළපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 449,686ක්.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 442 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේයි.  ඒ ඡන්ද දායකයින් 315,925ක්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 318කදී එම ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා උතුරු පලාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 899268ක්.

ඉන් ඡන්ද දායකයින් 492,280ක් ලියාපදිංචි වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 11ක ඡන්ද මධ්‍යස්ථාන 511ක් ස්ථාපිත කර තිබෙනවා.

අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණු අතර කයිට්ස් ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ නාවික හමුදා යාත්‍රාවක් මගින්.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර ඡන්ද බලප්‍රදේශ යටතට ගැනෙන්නේ අදාල දිස්ත්‍රික්ක 3යි.

ඒ අනුව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 387කදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 306081 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

උතුරුමැද පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,093,164ක්.

ඉන් ඡන්ද දායකයින් 741,862 දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

එම දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 636ක් ස්ථාපිත කර ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 7ක් සඳහායි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 292ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කෙරුණා.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක් සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 351,302ක්.

ඌව පළාත මැතිවරණ දිස්ත්‍රික්ක දෙකකින් සමන්විතවන අතර එහි ලියාපදිංචි සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,104,938ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 9ක් සඳහා ඡන්ද දායකයින් 705,772දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.

ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 530කදී ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 383ක්.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 399,166 ක්

ජනාධිපතිවරණය සඳහා සබරගමුව පළාත නියෝජනය කරමින් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,633,358 ක්.

එම පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛාවක් ලියාපදිංචි වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වන අතර එම සංඛ්‍යාව 923,736ක්.

අදාළ ඡන්ද දායකයින් ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 700කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද දායකයින් 709,622දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.

ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 577කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

කෑගල්ල දිස්ත්‍රික්ක්යේ ක්‍රියාත්මක ඡන්ද බලප්‍රදේශ සංඛ්‍යාව 9ක්.

මේ අතර හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා පරිශ්‍ර 49ක ගණන් කිරීමේ ශාලා 1713ක් ස්ථාපනය කර තිබෙනවා.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *