Press "Enter" to skip to content

තවත් එන්නත් මිලියනයක් අද දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් අද ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

 

ඒවා දෙවන මාත්‍රාව ලෙසට යොදා ගැනීමට සහ තවත් දිස්ත්‍රික් 12ක එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ද යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා.

 

ඔහු සඳහන් කළේ ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රා 15000ක් ලබන සිකුරාදා ලැබීමට නියමිත බවයි.

 

එය ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මීට පෙර ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ලබාදීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

 

එමෙන්ම තවත් ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රා 50000ක් එදින ලැබීමට නියමිත අතර ඒවා මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයට යොදා ගැනෙනු ඇත.

 

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා.

 

ඒ නව ආසාදිතයින් 3,103 ක් හඳුනාගැනීමත් සමඟයි.

 

ඒ අතුරෙන් 3,094ක් අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගැණුනු අතර, 9 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අයයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 202,357 ක් ලෙස මේ වනවිට සටහන් වනවා.

 

ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

එම මරණ පසුගිය මැයි 21 වනදා සිට ජූනි 4 වනදා දක්වා සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

ඔවුන් අතරෙන් බහුතරයකගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇතිවූ කොවිඩ් නියුමෝනියාවයි.

 

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 1,696 ක් වාර්තාවන අතර, එහිදී මියගිය පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,004ක් ලෙස සටහන් වනවා.

 

ඊයේ දිනයේදි ආසාදිතයින් 1851 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පිරිස එක් ලක්ෂ 66 දහස දක්වා ඉහළ ගියා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *