Press "Enter" to skip to content

රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් (VEDIO)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

 

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

 

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

 

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

 

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

 

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

 

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබුණි.

 

 

 

 

ada derana  –

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *