Press "Enter" to skip to content

ස්පුට්නික් V මාත්‍රා දෙකක් වෙනුවට ස්පුට්නික් ලයිට්

ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමේදී ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයෙහි පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමැත්ත පළකරන බවට සඳහන් මුද්‍රාවක් තැබීම මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ.

 

ඒ සම්බන්ධයෙන් ඊයේ (30) මහනුවර එන්නත්කරණ වැඩසටහනක් අතරතුරදී හෙළිවිය.

 

ස්පුට්නික් V මාත්‍රා 65,000ක් දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ඉන් මුල් මාත්‍රා 15,000 ලැබුණේ රුසියානු රජයෙන් ප්‍රදානයක් ලෙසය.

 

සෙසු මාත්‍රා 50,000 ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබීය.

 

ඊයේ දිනය වනවිට ස්පුට්නික් V පළමු මාත්‍රාව ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් ගණන 26,821කි.

 

ස්පුට්නික් V එන්නත නිෂ්පාදනය කළ ගැමීලියා ආයතනය ආරම්භයේදී මෙම එන්නත සඳහා මාත්‍රා දෙකක් හඳුන්වා දෙනු ලැබීය.

 

එහි පළමු මාත්‍රාවේ ඵලදායිතාව සියයට 79.4 ක් බවත් දෙවන මාත්‍රාවෙන් එය සියයට 91.6 ක් දක්වා වර්ධනය කරන බවත් ගැමීලියා ආයතනය ප්‍රකාශ කර තිබුණි.

 

කෙසේ වෙතත් මෙම එන්නත් මාත්‍රා දෙක වෙනුවට ස්පුට්නික් ලයිට් නමින් තනි මාත්‍රාව සහිත එන්නතක් හඳුන්වාදීමට ගැමීලියා ආයතනය පියවර ගෙන ඇති අතර කොවිඩ් වෛරසයට එරෙහිව එහි ඵලදායිතාව සියයට 79.4කි.

 

මේ අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“ඇත්තටම දැන් ඔවුන්ගේ පර්යේෂකයින් කියනවා මේ එන්නත් මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව පමණක් වුවත් ලබාදීම සෑහීමකට වෙන්න පුළුවන් කියලා. ඔවුන්ට පර්යේෂණ වාර්තා තියෙනවා කියලා. ඒ අනුව යමින් මේ වන විට රුසියානු නිෂ්පාදන ආයතනය ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකෙන් පළමුවෙනි මාත්‍රාව පමණක් “ස්පුට්නික් ලයිට්“ලෙස හඳුන්වමින් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ඉදිරියේ දී එම නිෂ්පාදන සමාගම පර්යේෂකයින් ඉඩක් තියෙනවා ස්පුට්නික් මාත්‍රා දෙකම ලබාගත යුතු නෑ. පළමු මාත්‍රාව පමණක් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා ඔවුන්ගේ නිර්දේශයක් ලබාදෙන්න. ඒ පිළිබඳව අපිට මේ වෙනකොටත් යම් ආකාරයකට ඒ නිෂ්පාදන ආයතනය දැනුම් දී තිබෙනවා. එය අප තීරණය කරන දෙයක් නෙමෙයි නිෂ්පාදන සමාගම සහ පර්යේෂණ ආයතනය විසින්.“

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *