Press "Enter" to skip to content

COVID 19 අරමුදලට මුරලිගෙන් රු මිලියන 5ක්

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති අරමුදලින් ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කෙරිණ.

ශ්‍රී දළදා මාළිගය භාර අරමුදලෙන් රුපියල් මිලියන 10ක්, මල්වතු සහ අස්ගිරි උභය විහාරයෙන් රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2.5 ක්, ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 02ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු සේවා සංගමය රුපියල් මිලියන 6.5ක්, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය රුපියල් මිලියන 2.5ක්, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රුපියල් මිලියනයක්, රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමය රුපියල් මිලියන 03ක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය රුපියල් මිලියනයක් සහ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා රුපියල් මිලියන 05ක් ඇතුළුව රුපියල් මිලියන 140ක පරිත්‍යාග මේ වන විට අරමුදලට ලැබී ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

“සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කෙරේ. අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කර තිබේ.

දේශීය, විදේශීය සමාගම්වලට ද අරමුදලට දායක වීමෙන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණය දිරි ගැන්වීමට හවුල් විය හැකි මානුෂීය මෙහෙවරකින් සමස්ථ ප්‍රජාව දෙස බැලීමට ලැබූණු විශේෂ අවස්ථාවක් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *